April 22, 2016

ට්‍රාන්ස්ෆෝමර් බල සැපයුම් පරිපථය

ට්‍රාන්ස්ෆෝමර් කිව්ව ගමන් ඔලුවට එන්නෙ ‍ෆිල්ම් එක. නැත්නම් අර විදුලි බල මණ්ඩලයට අයිති තඩි ට්‍රාන්ස්ෆෝමර්! මේ කියන්නෙ ඒ දෙකම ගැන නෙවෙයි. ප්‍රධාන විදුලියෙන් වැඩකරන පොඩි රේඩියෝ වල, පරණ ටීවී වල මේ උපාංඟය සුලබව දකින්න තියෙනවා. මේ කියල දෙන්න හදන්නෙ කුඩා ට්‍රාන්ස්ෆෝමරයක් නැත්නම් පරිණාමකයක් ප්‍රායෝගිකව යොදාගන්න හැටි ගැනයි.
මේ වැඩේට ගන්නෙ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් අවකර පරිණාමකයක්. 230V AC (ප්‍රත්‍යාවර්ථ) ප්‍රධාන විදුලිය 12V DC (සරල) විදුලියක් බවට පරිවර්ථනය කරන්න මේ පරිපථයෙන් පුලුවන්. 

මේ පරිපථයෙ මූලික කොටස් 3ක් තිබේ.

1. 230V විදුලිය 12V  පරිවර්ථන කොටස

                   මේ කොටසේදි තමයි ට්‍රාන්ස්ෆෝමරය භාවිතා වෙන්නෙ. මේ පරිපථයෙ දී යොදාගෙන තිබෙන්නෙ 12V ට්‍රාන්ස්ෆෝමරයක් උනත් අවශ්‍ය වෝල්ටියතාව අනුව කැමති ට්‍රාන්ස්ෆෝමරයක් යොදා ගන්න පුලුවන් (5V, 10V...). සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමරයක අග්‍ර(වයර්) 4 ක් තියෙනවා. 
                       ප්‍රධාන විදුලියට සම්බන්ද කරන අග්‍ර 2 එක වර්ණයකින් යුක්ත වෙනවා. බොහෝ විට මේ වයර රතු පැහැතියි. අනෙක් වයර 2 වර්ණ 2කින් හෝ තනි වර්ණයකින් යුක්තයි.
                  අග්‍ර අඳුන ගන්න අපහසු නම් ට්‍රාන්ස්ෆෝමරය ගන්න තැනින්ම දැනගන්න පුලුවන්. කොයිම වෙලාවකවත් මේ අග්‍ර මාරු නොවෙන්න වග බලාගන්න ඕනි. එහෙම නොවුණොත් මේ ක්‍රියාව අනෙක් පැත්තට (වැඩි->අඩු වෙනුවට අඩු->වැඩි) සිදුවී අනතුරු වීමටත් හැකියි. 
             සමහර ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා අවුට්පුට් වයර් 3ක් තියෙන. ඒවගෙ තියෙන වයර් 3න් දෙකක් එකම පාටින් තියෙනවා. පරිපථයට සම්බන්ධ කරනකොට මේ එකම පාට වයර් දෙක විතරක් පාවිච්චි කරන්න පුලුවන්. වයර් 3 ම ගන්න විදිහ පහලින් කියන්නම්.

2. AC -> DC  පරිවර්ථන / තරංඟ ඍජුකරණ කොටස
                 ට්‍රාන්ස්ෆෝමරයක් වැඩකරන්නෙ AC (ප්‍රත්‍යාවර්ථ ධාරා- Alternative Current) විදුලියකින්. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරයකින් විදුලිය අවුට් වෙන්නෙත් AC විදිහට. ඒත් විදුලි උපකරණ වැඩ කරන්නෙ DC (සරල ධාරා -Direct Current) එකකින්. ඒ නිසා මේ AC විදුලිය DC විදියට පරිවර්ථනය කරන්න ඕනි. මේ කොටසින් කරන්නෙ ඒක. මේ කොටසට ඩයෝඩ 4ක් යොදා ගන්නවා.

                           වයර් 3ක් තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට නම් ඩයෝඩ 2ක් තිබුණාම ඇති. මුලින් කිව්ව අවුට් වයර් 3න් වෙනස් පාට වයර් එක වැඩ කරන්නෙ භුගත නැත්නම් ඍණ (-) අග්‍රය විදිහට. තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ ඩයෝඩ් ගන්න කොට ට්‍රාන්ස්ෆෝමරයේ පිට කරන ධාරාවට (ඇම්පියර් ගානට) ගැලපෙන ඩයෝඩ් ගන්න ඕනි. මේ සර්කිට් එකේ තියෙන 1N4004 නැත්නම් 1N4007 ඔරොත්තු දෙන්නෙ 1A ධාරාවකර ට්‍රාන්ස්ෆෝමරයක් ගන්නවනම් වැඩි ධාරාවකට ඔරොත්තු දෙන ඩයෝඩ් ගන්න ඕනි.

3. සුමටනය කරන කොටස
ඩයෝඩ වලින් සරල ධාරාවක් බවට පත්වුනත් ඒ විදුලිය කෙලින්ම උපකරණයකට දෙන්න බෑ. ඒකට හේතුව මේ විදුලිය නියතව ගලා ඒමක් සිදු වෙන්නෙ නැතුව විචලනයකින් එන එක. ඒ හින්දා මේ විදුලිය ධාරිත්‍රකයක්(capacitor) හරහා ලබා ගත යුතුයි.  
                      කැපෑසිටරය ‍තෝරා ගන්නකොට ට්‍රාන්ස්ෆෝමරයෙන් පිටවෙන විදුලියට වඩා වැඩි අගයකින් යුතු එකක් ‍තෝරාගන්න ඕනි. (උදා:- ට්‍රාන්ස්ෆෝමරය 12V නම් 16V කැපෑසිටරයක් යොදා ගතයුතුයි.)
පොඩි මෝටර් වලට , LED වලට බැටරි වෙනුවට මේ පරිපථයෙන් විදුලිය ලබාගන්න පුලුවන්. ඩයොඩ් 4 , කැපෑසිටරය ඩොට්බෝඩ් කෑල්ලක හරි ෆෝර් මිකා කෑල්ලක් සිදුරු කරල හරි හදා ගන්න. මේ සර්කිට් එක මෙච්චර විස්තර කලේ සර්කිට් එක විතරක් දැම්මනම් ගොඩක් අය හදන්න අමාරුයි කියල හිතන හන්දා. දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. ඉලෙක්ට්‍රොනික් අමාරු නෑ හොඳේ!


8 comments :

  1. මචං අර ට්‍රාන්ස්පෝමර පුපුරණ එක වලක්වන්න උඹව උස්සං යයිවත් අපේ යහපාලකයෝ ඇවිත්... පරිස්සමෙන් හරිය........ සටහන සුපිරියි.... අලුත් දේවල් ගොඩක්...... මොනවා වුණත් හරයක් තියෙන ලිපි වලට අපි මාර සප් හරිය.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ෂුවර් නෑ තමයි කුරු‍ටු.. හැක්! ගොඩක් ස්තූතියි... ඒ සප් එක හින්ද තමයි මෙහෙම පෝස්ට් ලියවෙන්නෙ බ්‍රෝ..

      Delete
  2. උපෙ මතක් උනා
    අගෙයි විස්තරේ

    ජයවේවා"

    ReplyDelete
    Replies
    1. උපෙ ට උගන්නනව නේන්නම්.... ඉලෙක්ට්‍රොනික් කොටසෙදි...
      බොහොම ස්තූතියි විදානේ......

      Delete
  3. ඉස්සරනං ඔය සර්කිට් කෑලි එක්ක නටන එක මගෙත් හොඳ පිස්සුවක් වෙලා තිබුණ. අර ඩයොඩ් 4 වෙනුවට බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් දැම්මනං ලේසියි නේද?
    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මට හිතුන එහෙම වෙන්න ඇති කියල එදා කූලිං ෆෑන් එකක් අටෝගෙන තිබුණ දැක්කම..! හැක්.. බ්‍රිජ් රෙක්ටිෆයර් එකත් හරියටම හරි මේ වැඩේට. ඒක දැම්මොත් ලේසියි. ඒත් ඒවා සමහර තැන්වල හොයාගන්න ටිකක් අමාරුයි...
      තෑංක්ස් ප්‍රසා අයියා.....

      Delete
  4. මේ පෝස්ට් එකෙන් ඒ කාලෙ තිබ්බ පවර් පැක් එකක් මතක් වුණා. බැටරි ගන්න තුට්ටු නැති කාලේ ඒ පවර් පැක් එකෙන් තමා සර්කිට් කෑලි ඔක්කොම ගොඩ දා ගත්තෙ.

    ඒකෙ රෙගුලේටරෙන් වෝල්ට් රේන්ජ් එකක් දීල තිබ්බා 1.5 - 12 වෙනකල්..

    ජය !

    ReplyDelete
    Replies
    1. ආ සෑම් අයියා... සාදරයෙන් පිළිගන්නවා!
      ඔව් ඔව්... ඒක ෆට්ට භාණ්ඩෙ... එක එක සොකට් වලට ගහන්න පුලුවන් ජැක් කෑලි ගොඩක් එක්ක තියෙන්නෙ.. අපේ ගෙදර ඉස්සර කරන්ට් තිබුණෙ නෑ. මම ඔක්කොම සෙල්ලං දැම්මෙ 12V කාර් බැටරියෙන්...
      ගොඩක් ස්තූතියි!

      Delete

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

© 2017 tech සයුර . Powered by Blogger.
tech සයුර Copyright © All rights reserved.