September 5, 2017

NFC තාක්ෂණය

අද අවු.12-15 ඉඳල අවු.60-70 වේ අය ලඟ පවා ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ වුණාට මේ උපාංඟවලින් උපරිම ප්‍රයෝජන ගන්න අය ගොඩක් අඩුයි. ගොඩක් දෙනෙක් අමතර වැඩක් විදියට කරන්නෙ ඉන්ටනෙට් යන්නයි, ෆොටෝ, වීඩියෝ ගන්න එක විතරයි. ඒ වුණාට ෆෝන් එකේ වගේම තව ගොඩක් උපකරණ වල සැඟවෙලා නැති ඒත් බාවිත නොකර තියෙන තාක්ෂණයක් වෙන NFC (Near field communication) නැත්නම් සමීප උපාංඟ අතර සන්නිවේදනයට යොදාගන්න තාක්ෂණය ගැනයි මේ.
▶සරලව NFC කියන්නෙ...
NFC කියන්නෙ එක් අතකින් තාක්ෂණික නියමාවලියක්. ස්මාර්ට් ෆෝන් එකක් වැනි NFC ඇති ජංඟම උපාංඟයක් හා NFC චිපයක් අඩංඟු උපාංගයක් මෙවැනි පද්ධතියකට සරලව අයත්වෙනවා. ස්මාර්ට් ෆෝන් එක මේ NFC උපාංඟය නැතිනම් ටැගයට 4cm පමණ ආසන්න වුනාට පස්සෙ ජංඟම උපාංඟයේ විදුලියෙන් (විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන්) මේ ටැග් එක වැඩකරන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ඒකෙ තොරතුරු ෆොන් එක වගේ උපාංඟයකින් ලබාගන්න පුළුවන්. මොබයිල් පේමට් වලට, ඉලෙක්ට්‍රොනික් ටිකට්, ID කාඩ් වල වගේම සමහර ක්‍රෙඩිට් කාඩ් වලත් මේ තාක්ෂණය යොදා ගන්නවා. NFC වෙනුවට මේ තාක්ෂණය CTLS (Contact less) ලෙසත් හඳුන්වනවා.
▶වැඩ කරන්නෙ කොහොමද?
NFC ටැග් වල තියෙන විශේෂත්වය තමයි ඉතාමත් අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වෙන එක. NFC ටැග් එකක පරිපථය බැලුවොත් දඟරයක් විදිහට හදපු සන්නායක කොටසක් දැකගන්න පුළුවන්. මේ කොටසෙන් තමයි ටැග් එකේ චිප් එක වැඩ කරන්න ඕනි විදුලිය නිපදවන්නෙ. ඒ කියන්නෙ විද්‍යුත් චුම්බක ප්‍රේරණය නැත්නම් සරලවම කිව්වොත් ට්‍රාන්ස්ෆෝමරයක වෙන සංසිද්ධියට සමාන ක්‍රියාවලියක් තමයි වෙන්නෙ. මේකට දුරකථනයෙ තරංඟවලින් නිපදවෙන ශක්තිය හොඳටම ප්‍රමාණවත්.තව වැදගත් දෙයක් තමයි මේ ටැග් එක්ක සංනිවේදනය කරන්න ඒවා එකතු කරන්න (pairing) අවශ්‍ය නොවීම.
▶ප්‍රයෝජන
සරල උපාංඟයක් වගේම පහසුවෙන්, අඩු වියදමෙන් නිපදවන්න පුලුවන් නිසා මේ තාක්ෂණය විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් වොච් වල තොරතුරු සන්නිවේදනය කරන්න මෙය බාවිතා කරනවා. විද්‍යුත් ගණුදෙනු, මොබයිල් පේමන්ට් කටයුතු වලට මේ තාක්ෂණය බහුලවම යොදා ගන්නවා. සාම්ප්‍රදායිකව පසුම්බියෙන් මුදල් දීම හෝ ක්‍රෙඩිට් කාඩ් එක දීම වෙනුවට ටර්මිනලයකට ෆෝන් එක ලං කර එම ගණුදෙනුව කිරීමට මේ තාක්ෂණයෙන් හැකියාව ලැබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් OS එක ක්‍රියාත්මක වෙන දුරකතන වෙල මේ තාක්ෂණය බහුලව යොදාගනු ලබනවා. ගණුදෙනු කටයුතු සඳහා Android pay, Samsung pay කියන සේවාවන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම Android 4.0 Ice Cream Sandwich සංස්කරණය ඔස්සේ හඳුන්වාදුන් දුරකතන දෙකක් අතර ෆොටෝ, වීඩියෝ හුවමාරුවට යොදා ගන්න Android beem තාක්ෂණයත් NFC පදනම් වූවක්. ඇපල් දුරකතන වල හා ඇපල් වොච් උපාංග සමගත් ගණුදෙනු සඳහා Apple pay සේවාව ඇපල් සමාගම ලබාදෙන අතර මයික්‍රෝසොෆ්ට් සමාගම Microsoft wallet මගින් මේ තාක්ෂණය බාවිතා කරනවා. මීට අමතරව හැඳුනුම්පත්, පුස්තකාල කාඩ්පත්, ව්‍යාපාරික කාඩ් පත් තුල මේ තාක්ෂණය බහුලව යොදා ගනු ලබයි. ඒවගේම NFC tag තියෙන බෑන්ඩ්, කී ටැග් වගේ ඒවත් දැන් තියෙනවා.
NFC තාක්ෂණය එක් කර ඇති පරිගණක උපාංඟද පවතී. එමගින් එය බාවිතා කරන්නාට ඉතා පහසුවෙන් එම උපකරණ තම පරිගණකය හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණ ලෙස යම් උපකරණයකට අවශ්‍ය driver software ඇති අඩවි සෙවීම වෙනුවට එහි ඇති NFC chip එකෙහි අධාරයෙන් එම මෘදුකාංඟ ස්ථාපනය කිරීමට හැකිය. බ්ලූටූත් හෙඩ්සෙට් වැනි උපකරණ සාමාන්‍ය අකාරයට pairing කරනු වෙනුවට වේගවත්ව NFC යොදාගෙන සම්බන්ධ කල හැකිය. නවීන ක්‍රීඩා උපකරණ වල ක්‍රීඩකයාගේ තොරතුරු ‍රැඳවීමට ඒවාට සවි කරන ලද NFC chip  යොදා ගන්නවා.

▶ආරක්ෂාව කොහොමද?
බැලූ බැලමටම මේ තාක්ෂණය තරමක් අවධානම් තත්වයක් තියෙනවා කියලා පේනවා. විවෘත අවකාශයෙන් නිදශසේ තොරතුරු හුවමාරු වෙන නිසා ඒ තොරතුරු අන් අයට පත් වෙන්න පුළුවන් කියල හිතෙනවා. නමුත් මේ තාක්ෂණය ඊට වඩා ආරක්ෂිතයි. සරලවම උපකරණ දෙක අවශ්‍ය පරිදි ආසන්න වන තුරු මේ ක්‍රියාවලිය සිදුවන්නේ නෑ. ඒ වගේම යම් ගෙවීමක් කරන විට, ක්‍රෙඩිට් කාඩ් අංක හා වෙනත් තොරතුරු උපකරණ හරහා කිසිසේත්ම සංසරණය වෙන්නෙ නෑ. තවත් අතකින් බැලුවොත් මේ දත්ත encrypt කරල නිසා වෙන කෙනෙක් අතට පත් වුනත් වැඩක් වෙන්නෙ නෑ. කවුරු හරි කෙනෙක්ට ගෙවීමක් කරනවනම් ඒක තහවුරු කිරීමක් අනිවාර්ය්‍යයෙන්ම කරන්න ඕනි හින්ද හොරකම් වලට ඉඩක් නෑ.




***බ්ලොග් වසන්තයෙන් සම්මාන ලැබුණු හැමෝටම 
tech සයුරෙන් උණුසුම් සුබ පැතුම්!***

17 comments :

  1. තාක්ශනය ගැන මගේ දැනුම ඉතා අල්පයි.හැබැයි මම මගේ ගෝලයන්ගෙන් නවීන තාක්ශණය ගැන අහල ඉගෙන ගන්නවා.මොකද එයාලට පුලුවන් මේවා ඉතා සරලව කියා දෙන්න.
    NFC ගැන නම් ඇහුවෙත් අදමයි.වයිෆයි බ්ලුටූත් ගැන නම් ටිකක් දන්නවා. මේකෙදි ෆෙයාරින් අනවශයි කියල ඔයා ලියල තියනවා.
    එතකොට ඇයි සමහර බැන්කු කාඩ් (විසා ටෙබිඩ් ) වලින් ඔන් ලයින් දෙයකට ගෙවන්න බැරි වෙන්නේ. ඒ කාඩ් එකෙන් ෂොපින් කරද්දි ගෙවන්න පුලුවන් , ඒත් මට ඇප්ලිකේශන් එකකට සල්ලි ගෙවන්න ගිහින් ගෙවන්න බැරි වුනා... වෙනත් කාඩ් එකකින් තමා ඊට පස්සෙ ගෙවුවේ........
    ස්තුති ලිපියට.
    විභාගයට හොඳින් පෙනී සිටින්නට ඇතැයි සිතනවා.... හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..........
    ෴ ජය වේවා ෴

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සොදුරු..! දිගටම මේ වගේ ලිපි කියවනකොට දැනුම වැඩිවේවි ..
      ඒකට හේතුව සමහර බැංකු ඔන් ලයින් ගෙවීම් වලට සහය නොදැක්වීම. ඒක උපකරණ වල දෝෂයක් නෙවෙයි. සමහර බැංකු වල නම් මේ පහසුකම හදාගන්න පුලුවන්.

      Delete
  2. හරය පිරි සටහනක් මල්ලී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දුමී අයියෙ!

      Delete
  3. මාත් ඕක ගැන කනිං කොනිං අහල තිබ්බ.
    හොඳ පැහැදිලි කිරීමක්.

    අපි ඉතිං හම්බවෙලාම මේ ගැන කතාකරමු. හැක්..

    ReplyDelete
    Replies
    1. ආ ප්‍රසා අයිය.. එන්නම්කො මාත් කන කොනින් තියල කතා කරන්න.. හැක්!

      Delete
  4. වයර්ලස් පේමන්ට් වලට පාවිච්චි වෙනවනේ. මම බ්ලුටුත් හරහා කාරෙකේ ෆෝන් එකට මොබයිල් එක සම්බන්ධ කරල තියෙන්නේ. නමුත් මරේඩියෝ සෙට් එකට සෙට් වෙන්නේ නැහැ. එකට වෙනම මොඩියුලර් එකක් ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙ ඒක රීසෙට් කරල බල්න්න. සමහර වෙලාවට කලින් වෙන ඩිවයිස් එකක් කනෙක්ට් කරල තිබුණම මේ වගෙ ගැටලු වෙනවා...
      ජය!

      Delete
  5. ඔය ටැග් එක ගැන බුකියෙ වීඩියෝ එකක් තිබ්බ දැක්කද
    අර බැට්ටිය ගලව ගලව කරන
    විකාරෙ
    මොන පයිත්තියන් ද බන් තාක්ෂනේ ගැන නොදැනුවත් කමද මෝඩ කමද වෙන මොකක් හරි ද කියලා හිතාගන්ඩ වත් බෑ පව්නේ
    කාගෙ උනත් දරුවෙක්නෙ
    අනුකම්පා කරමුනේ
    වැදගත් සටහනක් මල්ලි ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් දැක්කා.. පැහැදිලිවම මෝඩකම. කිසි දෙයක් ගැන හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හිතලු වලින් නිගමන කරනවා. බැටරි කවරෙ තියෙන දේවල් හරියට කියෙව්වනම් ඒ හොඳටෝම ඇති.
      ස්තූතියි මහේෂ් අයියා!!

      Delete

  6. meka try karanna salli hoyanna puluwan ogollange typing speed eka anuwa. HNB, Commercial bank account walata salli withdraw karanna puluwan

    http://vyredrle.win/2648064611755/

    ReplyDelete
  7. මාත් වතාවක් ඔය මහේශ් කියපු පයිත්තියන් වීඩියෝ එක බලපු වෙලාවේ මේ ගැන දැනගත්ත.. ඒත් එච්චර උනන්දු උනේ නෑ. මේක කියෙව්වත් හරියටම තේරුණේ නම් නෑ. කොහෙ තේරෙන්නද තාම හරියට බ්ලූටූත් ඩිවයිස් එකක්වත් පෙයාර් කරගෙන වැඩක් කරන්න බැරිකොට.. ඒත් මේ ලිපිය නිසා මේ ගැන ලොකු උනන්දුවක් ආවා..

    ReplyDelete
    Replies
    1. උනන්දුවයි වැදගත් මා මිතුර...
      හිමිහිට තේරුම් ගමූ...
      ජය වේවා!

      Delete

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

© 2017 tech සයුර . Powered by Blogger.
tech සයුර Copyright © All rights reserved.