February 9, 2018

ඉබේ පාර්ක් වෙන සෙරෙප්පු!

දැක්ක ගමන් ටිකක් අමුතුයි වගේ නේද? ඇත්තටම මේක ටිකක් අමුතුයි තමයි. සාමාන්‍යයෙන් ස්ව්‍යං ධාවන (Self Driving) තාක්ෂණය උරුම වාහන වලට. ඒත් මේ කියන්නෙ ඒ තාක්ෂණය සෙරෙප්පු වලට එක් කිරීමක් ගැන. මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා සෙරෙප්පු දෙක ඔහේ ගලවල දැම්මම ඒ දෙක ඉබේම ගිහින් අයිනකින් පිළිවෙලකට තැන්පත් උනෝත් කොහොමද?
මේ වැඩේ කරල තියෙන්නෙ ජපානයේ මෝටර් රථ සමාගමක් වෙන නිසාන් සමාගමෙන්. ඒ නිසාන් සමාගමේ ප්‍රෝ පයිලට් (ProPilot) කියන තාක්ෂණය උපයෝගී කරගෙන. මේක අර්ධ ස්ව්‍යංක්‍රීය විදිහට ක්‍රියාත්මක වෙන එකක්. මේ හැම සෙරෙප්පුවකම කුඩා රෝද , මෝටර් හා සංවේදක පරිපථයකින් සමන්විත වෙනවා. ඒවා උදවු කරගෙන මේ හැම සෙරෙප්පුවක්ම අදාල ස්ථාන වලට මේ ප්‍රෝ පයිලට් තාක්ෂණය මගින් ගමන් කරනවා.
          ඒ වගේම නිසාන් සමාගමෙන් මේ තාක්ෂණය සෙරෙප්පු වලට විතරක් නෙවෙයි මේස, පු‍ටු වලට එහෙමත් ඇතුලත් කරල තියෙනවා.
නිසාන් සමාගමේ ප්‍රෝපයිලට් තාක්ෂණය ඇතුලත් උපාංග අත්හදා බලා තියෙන්නෙ Ryokan නම් ජපානයේ Hakone නගරයේ හි පිහිටි සාම්ප්‍රධායික අවන්හලකදී (ProPILOT Park Ryokan) . පිටතින් බැලුවත් මේ අවන්හලේ වෙනසක් දකින්න නෑ. ඒත් මේකට එන අමුත්තන්නට අපූරු අත්දැකීමකක් ලබන්න පුලුවන්. ජපානයේ සාම්ප්‍රධායික අවන්හල් වලදී වගේම අමුත්තන්ට දමා ගන්නට සෙරෙප්පු පිලිවෙලකට තියල තියෙනවා. අමුත්තන්ට මේ සෙරෙප්පු දාගෙන තමන්ට වෙන් කරපු කාමර වලට යන්න පුළුවන්. අමුත්තන් මේ කාමර ලගට ආව ගමන් මේ කාමරයේ තියෙන මේස, බිම ඇති කුෂන් කොට්ට ඉබේ තිබූ තැන් වලට එන්න පටන් ගන්නවා. ඒවා අමුතුවෙන් කෙනෙක් මැදිහත් වෙලා පිළිවෙලකට හදන්න ඕනිනෑ. ඒ වගේම ගලවපු සෙරෙප්පු ඉබේ ආයෙත් තිබුණු තැනටම යනවා. පළවෙනි සැරේටම දැකපු අයට නම් මේක පුදුම හිතින දෙයක් වෙනවා. මැජික් එකක් වගේ කිව්වොත් හරියටම හරි.
නිසාන් සමාගම මේ වැඩේ හදුන්වා දෙන ගමන් කිව්වේ මේ අලුත් තාක්ෂණයෙන් "අමුත්තන්ට අලුත් අත්දැකීමක් එක්ක සේවක ශ්‍රමය ඉතිරි කරගන්න" පුළුවන් කියලයි. නිසාන් සමාගමේ ප්‍රෝ පයිලට් තාක්ෂනය මූලිකවම යොදා ගත්තේ ගිය අවුරුද්දේ නිකුත්කල නිසාන් ලිෆ් 2018 රථයටයි.
                ඉදිරියේදී මේ තාක්ෂණය පූර්ණ ස්ව්‍යංක්‍රීය තාක්ෂනයක් විදිහට නිසාන් ලීෆ් රථයට එක්වෙනු ඇත. ඒ වගේම නිසාන් සමාගම කියන්නේ එයාලගෙ අරමුණ මේ තාක්ෂණය වාහන වලින් බැහැරව, වෙනත් උපකරණ වලටත් එක් කරන්නයි. ඒකෙ මුල්ම පියවර තමයි මේක. ඉස්සරහට අපේ ගෙවල් වලත් මේ ඉබේ දුවන සෙරෙප්පු, මේස දකින්න තියේවි. ගෙදර පිළිවෙලකට තියාගන්න කැමති, ඒත් ඒකට හරිහමන් වෙලාවක් නැති අයට නම් මේ තාක්ෂනය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

January 16, 2018

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3

ගිය පෝස්ට් එකේ කිව්ව විදිහට මේ සැරේ කියන්න හදන්නෙ අපි හදාගත්ත LED ලයිට් රෑට නැත්නම් අඳුරට වැඩකරන විදිහට හදාගන්නෙ කොහොමද කියලා. එතකොට මේ ලයිට් එක රෑ වුණාම ඉබේම පත්තු වෙනවා. ආයේ ස්විච් දමාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මේක පොඩි ඩොට් බෝඩ් එකක හදාගත්තු පරිපථයක්.
➤තියරිය
LDR
පොඩි කාලෙ ඉදන් ඉලෙක්ට්‍රොනික් පරිපත හදන උදවිය ඕනෙ තරම් LDR එක ගැන දන්නව ඇති. LDR (Light Depending Resister) කියන්නෙ ආලෝක තත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධයක්. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. එකක් ආලෝකය වැ‍ටුනම ප්‍රතිරෝධය අඩුවෙන එකක්, අනික ආලෝකයට ප්‍රතිරෝධය වැඩි වෙන එකක්. අපේ වැඩේට ඕන වෙන්නෙ ඔන්න ඔය මුලින් කියපු වර්ගයෙ එකක්. සුලබව තියෙන්නෙත් ඔය වර්ගය නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඒත් එක්කම මේ පරිපතයට UA741 කියන OP AMP IC එකත් අරගෙන තියෙනවා. ඒ පරිපතයේ ක්‍රියාකාරිත්වය සුමට කරන්න. ( මේ වචන වලට බයවෙන්න එපා හොඳේ..! 😉)

ඕනි කරන දේවල්


  • UA741   IC    -1
  • LDR                -1
  • D313 transistor -1
  • 100K VR           -1
  • 10K resistor     -1
  • 1K resistor       -3
  • 1N4007 diode -1
  • Small Switch   -1
  • LED (red)        -1
  • Dot bord          -1
  • වයර්
  • ජුවලරි බොක්ස් එකක් (පරිපථය රඳවන්න)
➤පරිපථ සටහන
                                        ඔන්න ඔය විදිහට පොඩි ඩොට් බෝඩ් කෑල්ලක ඔය සර්කිට් එක හදාගන්න ඕනි. මතක තියාගන්න අපි පරිපථය රඳවන්න ගන්න ජුවලරි බොක්ස් එක ඇතුලට හයි කරන්න පුළුවන් වෙන විදිහට ඩොට් බෝඩ් කෑල්ල කපාගන්න. 
            ඒ වගේම කොටස් පාස්සන කොටත් බොක්ස් එකේ  පියන වහන්න පුළුවන් විදිහට බාධාවක් නොවෙන්න හදාගන්න ඕනි. සර්කිට් එක හදලා LDR එක වයර් දෙකකින් එලියට ගන්න. ඊට පස්සෙ බොක්ස් එක ලයිට් එක ලඟින් හයි කරලා LDR එක එලිය වැටෙන තැනක රඳවන්න. දැං සර්කිට් එකේ ප්‍රීසෙට් එක කරකවලා අඳුරට ලයිට් එක පත්තු වෙන්නත්, එළියට නිවෙන විදිහටත් සීරුමාරු කරගන්න.
Testing
ප.ලි:-  සර්කිට් එකේ ස්විච් එකක් දාලා තියෙනවා පේනවා ඇති. ඒකෙන් කරන්නෙ අඳුරට, එළියට පත්තු වෙන්නෙ නැතුව දිගටම පත්තු වෙන්න (Override) හදාගන්න. එතකොට  ඕනි නැති වෙලාවලට මේ ස්විච් එක ඔන් කරන්න පුළුවන්. 

November 17, 2017

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 2

හරි.. දැං ඉතිං හදන්න පටන් ගත්ත අය ඕනි කරන දේවල් හොයාගෙන ඇති. තව කට්ටියක් මේ ටික කියවලවම හදන්න බලාගෙන ඉන්නවා ඇති. කොහොම වුනත් මේ පෝස්ට් එකෙන් කියන්නෙ හදාගත්තු සෝලා පැනල් එකට බල්බ් සෙට් කරගන්න විදිහයි. 
සෝලා පැනල් එකෙන්...
සෝලා පැනල් එක හයි කරගන්න ඕනි විදිහ නම් කියන්න ඕනි නෑ කියල හිතෙනවා. කාට හරි උදව්වක් ඕනි නම් ඉල්ලන්න පුළුවන්. ඒවගේම තව පොඩි පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. එකක් තමයි සෝලා පැනල් එකේ චාර්ජිං යුනිට් එකෙන් ස්විච් වලින් පිටතට එන සැපයුම් වලින් ම වයර් සම්බන්ධ කරන්න මතක තියාගන්න. කිසිම වෙලාවක කෙලින්ම බැටරියෙන් වයර් සම්බන්ධ කරන්න එපා. එකට හේතුව හදිසි ලුහුවත් වීමක් හරි බැටරි බලය තිබිය යුතු අවම මට්ටමට වඩා පහල ගියොත් ස්ව්‍යක්‍රියව සැපයුම පරිපථයෙන් විසන්ධි කරන නිසා. ඒක බැටරියේ කල්පැවැත්මටත්, ආරක්ෂාවටත් ගොඩක් වැදගත්. අනික තමයි බැටරිය නඩත්තු කරන්න ඕනි එකක් නම් නියමිත විදිහට බැටරි වතුර දාලා පිරිසිදුව තියාගන්න ඕනි.
එළිය ගන්න විදිහ
ඔන්න අපි වැඩේ පටන් ගන්න හදන්නෙ. මුල් පෝස්ට් එකේ කියපු විදිහට අපි එළිය ගන්න L.E.D පටි තමයි ගන්නෙ. කැමති  කෙනෙකුට තමන්ට කැමති ක්‍රමයකට ඕනි ගනනක් පටි හයි කරගන්න පුළුවන්. මේ කියන්නෙ මේ ප්‍රොජෙක්ට් එකට L.E.D පටි හයිකරගත්ත විදිහයි. මේකට ඕනි කරන්න ඕනි කරන දේවල් ටිකක් තියෙනවා.
  • පරණ රේඩියෝ, ටීවී ට්‍රාන්ස්ෆෝමරයක් (වැඩ නොකරන, අයින් කරපු එකක්)
  • වයරින් ක්ලිප්
  • වයර්
  • ස්විච් (ඕනි නම්)
ට්‍රාන්ස්ෆෝමරයක් මොකටද?
මේ ප්‍රොජෙක්ට් එකේදි එක තැනකට L.E.D පටි දෙක ගානෙ හයි කරා. ඉතින් මේ L.E.D පටි හයි කරගන්න ගත්තෙ ට්‍රාන්ස්ෆෝමරවල ඇතුලෙ තියන කොටසක්. පරණ ට්‍රාන්ස්ෆෝමරයක් අරගෙන ඒක පරිස්සමට වටේ තියෙන ආවරණය ගලවන්න.
                එතකොට තුනී තහඩු එකතු කරලා හදපු යකඩ රාමුවක් ඇතුලෙ තියෙනවා පෙනේවි. මේ තහඩු අතරට පොඩි පැතලි නියනක් තියලා තද කරාම මේ තහඩු වෙන් කර ගන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමරය වැඩකරන කොට ඇතිවෙන සුළි ධාරා නිසා වෙන ශක්ති හානිය වලක්ව ගන්න තමයි මේ වගෙ පරිවරණය කරපු තහඩු වලින් ඒක හදල තියෙන්නෙ. හරි. දැං එහෙම තහඩු කෑලි වෙන් කරගත්තම E අකුර හැඩෙ තහඩු කෑලි දකින්න ලැබේවි. මෙන්න මේවා තමයි L.E.D පටි හයි කරන්න ගන්නෙ.
 ➨L.E.D පටි අලවමු
උඩ කොටසෙ කිව්වා වගේම මේකට අරගෙන තියෙන්නෙ L.E.D පටි දෙකයි. E හැඩයෙ තහඩු කෑල්ලක් අරගෙන පහල තියෙන විදිහට නවා ගන්න ඕනි. ඒ කියන්නෙ තහඩුවෙ මැද කොටස උඩට නවලා දෙපැත්තෙ තියෙන කෑලි දෙකේ L.E.D පටි දෙක අලවගන්න ඕනි. ඒ පටි දෙකත් තරමක ආනත වෙන විදිහට නවා ගන්න ඕනි. වැඩේ හරියට කරා නම් පහල රූප වල වගේ තියෙන්න ඕනි. ඊට පස්සෙ මේ තහඩුවේ නවාගත්ත මැද කොටස සිදුරක් හදා ගන්න. මොකද ඒකෙන් තමයි මේ කොටස සම්බන්ධ කරගන්නෙ.

වයර් සම්බන්ධ කිරීම.
නිල් පාටයි, දුඹුරු පාට වගේ වර්ණ දෙකකින් වයර් ගන්න එක වැදගත්. ඒකෙන් අග්‍ර හදුන ගන්න ලේසි වෙනවා. දැං සෝලා චාර්ජිං යුනිට් එකෙන් එක output එකකින් වයර් අරගෙන ඕනිනම් ස්විචයක් හරහා L.E.D පටි වලට සම්බන්ධ කරන්න. වයර් අදින කොට ඒවා පරාල, රීප්ප වලට සම්බන්ධ කරන්න වයරින් ක්ලිප් ගන්න පුළුවන්.
හරි. දැං වැඩේ කරන හැටි තේරෙනවා කියලා හිතනවා. මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟ කොටසෙන් කියල දෙන්නම් අඳුර වැ‍ටුනම ඉබේම ලයිට් පත්තුවෙන්න හදන්නෙ කොහොමද කියලා. ඊලඟ කොටසෙන් හමුවෙමු එහෙනම්...

1 කොටස

November 5, 2017

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1

විදුලි බලය ඉතිරි කරන්න වගේම අපතේ යන බලශක්තියක් විදිහට පුනර්ජනනීය ශක්තියක් වෙන හිරු එලියෙන් විදුලිය නිපදවන සූර්අ්‍ය කෝෂ පද්ධති ගෙවල් වලට හයි කරනවා. අපේ රටේ පිහිටීමත් එක්ක හිරු එළිය කියන්නෙ වටිනා ශක්ති ප්‍රභවයක්.ඒත් මේක ටිකක් වියදම් අධික වැඩක්. මේ ප්‍රොජෙක්ට් එක නම් ඒතරම් බරපතල එකක් නෙවෙයි. 

වටිනාකම
වැස්ස අඩු කාලෙට වෙන කාලෙට නිතර නිතර විදුලි බිඳවැටීම් වෙනවා ඒ වෙලාවට ලොකූ වැඩ කරගන්න බැරි උනත් යම් තරමකට ආලෝකය ලබා ගන්න, ෆෝන් එක චාර්ජ් කරගන්න, ටීවි එක බලන්න වගේ දේවල් වලට මේක යොදා ගන්න පුළුවන්. තවත් දෙයක් වෙන්නෙ යම් තාක් දුරකට හරි විදුලිය ඉතිරි වීමයි. ගොඩක් දෙනෙක් ෆෝන් එක චාජ් එකට ගැහුවට, ගලවන් යන්නෙ ෆෝන් එක විතරයිනෙ ;). පොඩි විදුලියක් වැය උනත් ඒ වගේ 10ක්, 100ක්, 10000ක් එකතුවෙන කොට ඒක අපේ රටට හොඳට දැනෙනවා.

➨ අඩු වියදම් කිව්වෙ ඇයි?
මේ ප්‍රොජෙක්ට් එක අඩු වියදම් කියන්න හේතුව තමයි මේකට ගන්නෙ කුඩා ප්‍රමාණයේ 12V සොලා පවර් සිස්ටම් එකක් නිසයි. විදුලිය නැති දුෂ්කර පැතිවල මේ පැනල් හරි ජනප්‍රියයි. දැං ගෙවල් වලට හයි කරන්නෙ නම් 230v ප්‍රධාන විදුලිය ගන්න පුළුවන් තරමක් වියදම් ඒත් වටිනාකමින් වැඩි පද්ධති. ඒ වගේ එකක් පද්ධතියක් හයි කරගන්න පුළුවන් කමක් තියෙනවනම් ගොඩක් හොඳයි.
මේ තියෙන්නෙ චාර්ජින් යුනිට් එක
මේ ප්‍රොජෙක්ට් එක තවත් අඩු මිල වෙන්න හේතුව තමයි මේකට අරං තියෙන බැටරිය. සාමාන්‍යයෙන් මේ බැටරියක්  රු 15,000/= ක් විතර වෙනවා. ඒත් මේකට ගත්ත බැටරිය වාහනයකින් අයින් කරපු එකක්. ඒ කියන්නෙ වාහනේට අවශ්‍ය ජවය නොතිබ්බත් ගෙදර වැඩ ටිකට මේක ඉහටත් උඩින්. එහෙම වෙන්නෙ ඇයි කියල ඉස්සරහට තේරෙයි.මේ බැටරිය ගත්තෙ රු 3000/= කට!

➨ හොයාගන්න ඕනි දේවල්
  • 12V සෝලා පැනල් යුනිට් එකක් (දැං ගොඩක් තැන් වල ප්‍රධාන විදුලිය තියෙන නිසා පරණ එකක් අඩු ගාණකට හොයාගන්න පුළුවන් වේවි)
  • 12V බැටරියක් (යම් තත්වයක තියෙන වාහනයකින් අයින් කරපු එකක්)
  • 12V LED බල්බ් 3 පටි
  • වයර්
  • ස්විච්
  • වයරින් ක්ලිප්

➨ බල්බ් පත්තු කරන්න විතරද?
ගොඩක් අය බලයි දැන්, බල්බ් පත්තු කරගන්න පැනල් එකක් අමුණ ගන්න කාටත් බැරියැ කියලා. ඒත් ඊට වඩා එහා ගිය දේවල් වලින් මේ යුනිට් එක ප්‍රයෝජනයට ගන්න හැටි ඉස්සරහට කියල දෙන්නම්. එතකම් මේ කෑලි බෑලි ටික එකතු කරගන්න. 
මේ කොරිඩෝවේ තියෙන LED පටි 2 රෑ එළිවෙනකම් වැඩ
LED පටි, වයර්, වයරිං ක්ලිප්

ඊළඟ කොටසෙන් හමුවෙමු...

September 5, 2017

NFC තාක්ෂණය

අද අවු.12-15 ඉඳල අවු.60-70 වේ අය ලඟ පවා ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ වුණාට මේ උපාංඟවලින් උපරිම ප්‍රයෝජන ගන්න අය ගොඩක් අඩුයි. ගොඩක් දෙනෙක් අමතර වැඩක් විදියට කරන්නෙ ඉන්ටනෙට් යන්නයි, ෆොටෝ, වීඩියෝ ගන්න එක විතරයි. ඒ වුණාට ෆෝන් එකේ වගේම තව ගොඩක් උපකරණ වල සැඟවෙලා නැති ඒත් බාවිත නොකර තියෙන තාක්ෂණයක් වෙන NFC (Near field communication) නැත්නම් සමීප උපාංඟ අතර සන්නිවේදනයට යොදාගන්න තාක්ෂණය ගැනයි මේ.
▶සරලව NFC කියන්නෙ...
NFC කියන්නෙ එක් අතකින් තාක්ෂණික නියමාවලියක්. ස්මාර්ට් ෆෝන් එකක් වැනි NFC ඇති ජංඟම උපාංඟයක් හා NFC චිපයක් අඩංඟු උපාංගයක් මෙවැනි පද්ධතියකට සරලව අයත්වෙනවා. ස්මාර්ට් ෆෝන් එක මේ NFC උපාංඟය නැතිනම් ටැගයට 4cm පමණ ආසන්න වුනාට පස්සෙ ජංඟම උපාංඟයේ විදුලියෙන් (විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන්) මේ ටැග් එක වැඩකරන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ඒකෙ තොරතුරු ෆොන් එක වගේ උපාංඟයකින් ලබාගන්න පුළුවන්. මොබයිල් පේමට් වලට, ඉලෙක්ට්‍රොනික් ටිකට්, ID කාඩ් වල වගේම සමහර ක්‍රෙඩිට් කාඩ් වලත් මේ තාක්ෂණය යොදා ගන්නවා. NFC වෙනුවට මේ තාක්ෂණය CTLS (Contact less) ලෙසත් හඳුන්වනවා.
▶වැඩ කරන්නෙ කොහොමද?
NFC ටැග් වල තියෙන විශේෂත්වය තමයි ඉතාමත් අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වෙන එක. NFC ටැග් එකක පරිපථය බැලුවොත් දඟරයක් විදිහට හදපු සන්නායක කොටසක් දැකගන්න පුළුවන්. මේ කොටසෙන් තමයි ටැග් එකේ චිප් එක වැඩ කරන්න ඕනි විදුලිය නිපදවන්නෙ. ඒ කියන්නෙ විද්‍යුත් චුම්බක ප්‍රේරණය නැත්නම් සරලවම කිව්වොත් ට්‍රාන්ස්ෆෝමරයක වෙන සංසිද්ධියට සමාන ක්‍රියාවලියක් තමයි වෙන්නෙ. මේකට දුරකථනයෙ තරංඟවලින් නිපදවෙන ශක්තිය හොඳටම ප්‍රමාණවත්.තව වැදගත් දෙයක් තමයි මේ ටැග් එක්ක සංනිවේදනය කරන්න ඒවා එකතු කරන්න (pairing) අවශ්‍ය නොවීම.
▶ප්‍රයෝජන
සරල උපාංඟයක් වගේම පහසුවෙන්, අඩු වියදමෙන් නිපදවන්න පුලුවන් නිසා මේ තාක්ෂණය විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් වොච් වල තොරතුරු සන්නිවේදනය කරන්න මෙය බාවිතා කරනවා. විද්‍යුත් ගණුදෙනු, මොබයිල් පේමන්ට් කටයුතු වලට මේ තාක්ෂණය බහුලවම යොදා ගන්නවා. සාම්ප්‍රදායිකව පසුම්බියෙන් මුදල් දීම හෝ ක්‍රෙඩිට් කාඩ් එක දීම වෙනුවට ටර්මිනලයකට ෆෝන් එක ලං කර එම ගණුදෙනුව කිරීමට මේ තාක්ෂණයෙන් හැකියාව ලැබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් OS එක ක්‍රියාත්මක වෙන දුරකතන වෙල මේ තාක්ෂණය බහුලව යොදාගනු ලබනවා. ගණුදෙනු කටයුතු සඳහා Android pay, Samsung pay කියන සේවාවන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම Android 4.0 Ice Cream Sandwich සංස්කරණය ඔස්සේ හඳුන්වාදුන් දුරකතන දෙකක් අතර ෆොටෝ, වීඩියෝ හුවමාරුවට යොදා ගන්න Android beem තාක්ෂණයත් NFC පදනම් වූවක්. ඇපල් දුරකතන වල හා ඇපල් වොච් උපාංග සමගත් ගණුදෙනු සඳහා Apple pay සේවාව ඇපල් සමාගම ලබාදෙන අතර මයික්‍රෝසොෆ්ට් සමාගම Microsoft wallet මගින් මේ තාක්ෂණය බාවිතා කරනවා. මීට අමතරව හැඳුනුම්පත්, පුස්තකාල කාඩ්පත්, ව්‍යාපාරික කාඩ් පත් තුල මේ තාක්ෂණය බහුලව යොදා ගනු ලබයි. ඒවගේම NFC tag තියෙන බෑන්ඩ්, කී ටැග් වගේ ඒවත් දැන් තියෙනවා.
NFC තාක්ෂණය එක් කර ඇති පරිගණක උපාංඟද පවතී. එමගින් එය බාවිතා කරන්නාට ඉතා පහසුවෙන් එම උපකරණ තම පරිගණකය හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණ ලෙස යම් උපකරණයකට අවශ්‍ය driver software ඇති අඩවි සෙවීම වෙනුවට එහි ඇති NFC chip එකෙහි අධාරයෙන් එම මෘදුකාංඟ ස්ථාපනය කිරීමට හැකිය. බ්ලූටූත් හෙඩ්සෙට් වැනි උපකරණ සාමාන්‍ය අකාරයට pairing කරනු වෙනුවට වේගවත්ව NFC යොදාගෙන සම්බන්ධ කල හැකිය. නවීන ක්‍රීඩා උපකරණ වල ක්‍රීඩකයාගේ තොරතුරු ‍රැඳවීමට ඒවාට සවි කරන ලද NFC chip  යොදා ගන්නවා.

▶ආරක්ෂාව කොහොමද?
බැලූ බැලමටම මේ තාක්ෂණය තරමක් අවධානම් තත්වයක් තියෙනවා කියලා පේනවා. විවෘත අවකාශයෙන් නිදශසේ තොරතුරු හුවමාරු වෙන නිසා ඒ තොරතුරු අන් අයට පත් වෙන්න පුළුවන් කියල හිතෙනවා. නමුත් මේ තාක්ෂණය ඊට වඩා ආරක්ෂිතයි. සරලවම උපකරණ දෙක අවශ්‍ය පරිදි ආසන්න වන තුරු මේ ක්‍රියාවලිය සිදුවන්නේ නෑ. ඒ වගේම යම් ගෙවීමක් කරන විට, ක්‍රෙඩිට් කාඩ් අංක හා වෙනත් තොරතුරු උපකරණ හරහා කිසිසේත්ම සංසරණය වෙන්නෙ නෑ. තවත් අතකින් බැලුවොත් මේ දත්ත encrypt කරල නිසා වෙන කෙනෙක් අතට පත් වුනත් වැඩක් වෙන්නෙ නෑ. කවුරු හරි කෙනෙක්ට ගෙවීමක් කරනවනම් ඒක තහවුරු කිරීමක් අනිවාර්ය්‍යයෙන්ම කරන්න ඕනි හින්ද හොරකම් වලට ඉඩක් නෑ.




***බ්ලොග් වසන්තයෙන් සම්මාන ලැබුණු හැමෝටම 
tech සයුරෙන් උණුසුම් සුබ පැතුම්!***

May 15, 2017

ලෝකෙටම තරු පෙන්නූ සයිබර් ප්‍රහාරය

ඉකුත්දා රටවල් 100ක පමණ ප්‍රමාණයක රෝහල්, පාසල්, සමාගම් හා රාජ්‍ය කටයුතු වලට අදාල පරිගණක අඩපණ කරමින් ‍රැන්සම්වෙයා වර්ගයේ මැල්වෙයා වැඩසටහනක් පැතිරී ගියා. මෙය ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් බව එයින් කර ඇති බලපෑම මගින් පෙනී යනවා.
‍➢රැන්සම්වෙයා යනු?

                        රැන්සම්වෙයා කියන්නේ නරක වැඩසටහනක්, සරලවම කිව්වොත් වෛරසයක්. මේ වර්ගයේ වැඩසටහන් පරිගණක වලට ඇවිත් ඒ පරිගණකයේ පාලනය වෛරසය සතු කරගන්නවා. ඊට පස්සෙ ඒකෙන් නිදහස් වෙන්න කප්පම් මුදලක් ඉල්ලනවා. සාමාන්‍ය අපරාධ කරුවෙක් හොයනවාට වඩා මේ වගේ සයිබර් අපරාධයක් කරන කෙනෙක්ව කො‍ටු කරන එක ලේසි නෑ. මොකද මේ හැකර් කරුවා තමන්ගෙ අනන්‍යතාවය, ස්ථානය උපරීමෙන්ම සඟවල තමයි මේ හැම දේම කරන්නෙ.

වෙච්ච විනාසේ
ඇවාස්ට් ඇන්ටි වෛරස් සමාගමට අනුව "WanaCrypt0r 2.0" නමින් හැඳින්වුණ මේ වෛරසය රටවල් 99ක පරිගණක 100,000 කට අසාදනය වෙලා .රුසියාව, යුක්‍රේනය, තායිවානය ප්‍රධාන ලෙස මේ ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ රෝහල් 20 කට අධික ප්‍රමාණයකුත්, FedEX ඇතුලු ප්‍රධාන සමාගම් කීපයකුත් මේකට ගොදුරු වෙලා. ලෝකයේ දැවැන්තම වාහන නිපදවන රෙනාල්ට් හා නිසාන් සමාගම් නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ පරිගණක මේ ප්‍රහාරයට ලක් ව ඇති බවයි. රුසියාවේ බැංකු වලටත්, ජර්'මනියේ දුම්රිය කටයුතු වලටත් මේකෙන් බාධා සිදුවුණා.
Wanna Decryptor වයිරසය
මේ වැඩසටහන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියෙන් (National Security Agency) පිටවූ හැකින් වැඩසටහනක අලුත් සංස්කරණයක් කියල තමයි කියන්නෙ. මේ වැඩසටහන "Shadow Brokers" නම් කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදාහැරල තියෙනවා. පරිගණක ජාල වල සැරිසරමින් කරදරකාරි ඊමේල් (phishing email) වලින් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල දෝෂ සහිත සිදුරු (security holes) වලින් පරිගණනකයට ඇතුල්වෙනවා. වෛරසය ක්‍රියාත්මක වුණාට පස්සෙ පරිගණකයේ ෆයිල් කේතනය(encrypt)  කරනවා. ඊට පස්සෙ ඒවා නැවත ලබා ගන්න කප්පම් සල්ලි දෙන්න කාලයක් ලබා දෙනවා. නැත්නම් ඒ ෆයිල් ඔක්කොම ඒකෙ අයිතිකාරයට නැතිවෙනවා. මේ ප්‍රහාරයට වැඩි හරියක් ගොදුරු වුණේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියි.
භයානක කම
වාර්තා වලට අනුව මේ ප්‍රහාරයට රෝහල් වල පරිගණක බොහෝමයකුත් ලක් වෙලා. ඉතින් මිනිස් ජීවිතත් සමග ගණුදෙනු කරන පරිගණක පද්ධති වලට මේවගේ ප්‍රහාරයක් එල්ල වුණාම, රෝහල් වල පරිගණක පද්ධති වල ආරක්ෂාව ගැන දෙවරක් සිතන්නට වෙනවා. අනෙක් කරුණ වන්නේ මේ වෛරසයට පිළියමක් යෙදූවද හැකර් කරුවාට මේ වැඩසටහනට වඩා ප්‍රබල වෛරසයක් සාදා මීටත් වඩා ප්‍රභල ප්‍රහාරයක් දියත් කිරීමද කල හැකිය. අනෙක ඇමරිකාව වැනි රටක ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම හැකින් වැඩසටහනක් පිටවීම? තව දුරටත් සිතිය යුතුය.
බේරිල්ලක් නැද්ද?
මේ උවදුරෙන් බේරෙන්න නම් පුලුවන්තරම් ඉක්මනට වින්ඩෝස් අප්ඩේට් ඉන්ස්ටෝල් කරගන්න. පරන මෙහෙයුම් පද්ධති වලින් අලුත් ඒවට මාරුවෙන්න. වෛරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න. කිසිම වෙලාවක නාදුනන ඊමේල් හරහා එන ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා. නොදන්න සයිට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා.

 ➣අපේ රටට කොහොමද?
තාම නම් අපේ රටට මේ ප්‍රහාරයේ බලපෑමක් වෙලා කියල දැනගන්නට නෑ. ඒත් හැමකෙනෙක්ම තමන්ගේ පරිගණක අප්ඩේට් කරල ගොඩක්ම වැදගත් ෆයිල් එහෙම බැකප් කරලා තියාගන්න එක ගොඩක් හොඳයි.

මේ Wanna Decryptor ‍රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය ගැන බලනකොට ටිකක් සැක සහිත බවකුත් නැතුවාම නොවේ. ලෝකයම දණ ගැස්සීමට තරම් සූර වෛරසයක් හදන එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කවුරුවත් නොදකින පැත්තක්, සයිබර් ප්‍රහාරයකට එහා ගිය දෙයක් මේකෙ තියෙන්න පුළුවන්.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

© tech සයුර . Powered by Blogger.
tech සයුර Copyright © 2014 All rights reserved.